News & Events

 

හෝටල් ක්ෂේත්‍රයේ සුපිරි තරු සොයා ‘Rising Star of Hospitality 2017’ දියත් කෙරේ

21-06-17

හෝටල් ක්ෂේත්‍රයේ නව පරපුර අතර සුපිරි දක්ෂතා සහිත තරුණ තරුණියන් තෝරාගෙන ඔවුන් ඇගයීමට ලක්කිරීම් සඳහා විශේෂ දීපව්‍යාප්ත වැඩසටහනක් දියත් කිරීමට තමන් කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා හෝටල් සංගමය (The Hotels Association of Sri Lanka –THASL) පසුගියදා කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිවේදනය කළේ ය. එම සංගමයේ සභාපති තුමන් ඇතුලු සංවිධායක කමිටුවේ සාමාජිකයෝ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වී සිටියහ. තරඟයේ ජයග්‍රාහකයාට පිරිනැමෙන සම්මානය අනාවරණය කිරීමද මෙහිදී සිදු වූ අතර මීට සමගාමීව ශ්‍රී ලංකා හෝටල් සංගමයේ වෙබ් අඩවිය නැවත දියත් කිරීමද සිදුකෙරිණි.

දිවයින පුරා විසිරුණු හෝටල් වල සේවය කරන තරුණ තරුණියන් 200 ක පමණ පිරිසක් අංශ 9 ක් යටතේ 'Rising Star of Hospitality 2017’ කිරුළ සඳහා තරඟ වදිනු ඇත. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් මෙම තරඟකරුවන්ගේ දක්ෂතා, කුසලතා හා පෞරුෂය වැනි සාධක සැලකිල්ලට ගෙන ජයග්‍රාහකයන් තෝරාගැනීමට නියමිත ය.

"මේ වනවිට රටේ තරු පන්තියේ හෝටල් කාමර 22,000 ක් පමණ පවතිනවා. මෙය 2020 වසර වනවිට තවත් 6,500 කින් පමණ වැඩි වේවි. මේ වනවිට ක්ෂේත්‍රයේ මුලු ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 3 කට වැඩි වන අතර 2020 වසර වනවිට එය තවත් ඩොලර් බිලියන 1.5 කින් පමණ ඉහළ යාවි කියා අපේක්ෂා කෙරෙනවා. මේ දක්වා රටේ තනි ක්ෂේත්‍රයක් තුළ සිදුකෙරුනු වැඩිම ආයෝජන ප්‍රමාණය මෙයයි. එමෙන්ම සංචාරකයන්ගේ පැමිණිම මගින් රටට ලැඛෙන ශුද්ධ ආදායම දැන් ඩොලර් බිලියන 3.5 ඉක්මවා තිඛෙනවා. අනෙක් ක්ෂේත්‍රවල මෙන් නොව මෙම ක්ෂේත්‍රය ඔස්සේ උපයන ආදායම් රට තුළම ඉතිරි වීම විශේෂත්වයක්." ශ්‍රී ලංකා හෝටල් සංගමයේ සභාපති සනත් උක්වත්ත මහතා පැවසී ය.

"සංචාරක ක්ෂේත්‍රය යනු සැබැවින්ම ලාභදායී ක්ෂේත්‍රයක්. එය සෘජු හා වක්‍ර රැකියා අවස්ථා බිහිකිරීමට අමතරව සැලකිය යුතු තරම් විශාල ආයෝජනයන් ආකර්ෂණය කරගනිමින්, රටට විදේශ විනිමය උපයා දෙනවා. ක්ෂේත්‍රය තුළ අවස්ථා රාශියක් විවෘත ව තිබුණත් රටේ තරුණ පරපුර තවමත් හෝටල් ක්ෂේත්‍රයේ සැබෑ හැකියාවන් හා අවස්ථාවන් පිළිබඳව දැනුවත් නැහැ. මේ නිසා ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට හෝටල් ක්ෂේත්‍රයේ තරුණ පරපුරේ කැපීපෙනෙන දක්ෂතා සහිත සුපිරි තරු තෝරාගෙන ඔවුන් ඇගයීමට ලක්කිරීමේ වැඩසටහනක් දියත් කිරීමට අප තීරණය කළා. ‘Rising Star of Hospitality 2017’ වැඩසටහන දියත් කෙරුණේ මේ සංකල්පය මූලික කරගෙනයි. එළඹෙන ඔක්තෝබර් මස 24 වනදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත මෙම වැඩසටහන සම්බන්ධයෙන් මේ වනවිට සමස්ත හෝටල් ක්ෂේත්‍රය තුළම විශාල උනන්දුවක් ඇතිවී තිඛෙනු දැකීම ඉමහත් සතුටක්.˜ සනත් උක්වත්ත මහතා වැඩිදුරටත් පැවසී ය.

අවුරුදු 18 ත් 27 අතර තරුණ තරුණියන් උදෙසාම පැවැත්වෙන ‘Rising Star of Hospitality’ වැඩසටහන අදියර 3 ක් යටතේ පැවැත්වීමට සැලසුම් කර තිබේ. කලාපීය මට්ටමින් පැවැත්වෙන පළමු අදියරේදී තරඟකරුවන්ගේ හැකියාවන් සහ රැකියාව තුළ දක්වන දක්ෂතා ආදිය ඇගයීමට ලක් කෙරේ. දෙවන අදියරේදී තරඟකරුවන්ගේ අයදුම් පත්‍රවල සඳහන් තොරතුරු මත ඔවුන් ඇගයීමට ලක්කෙරෙනු ඇත. මුල් අදියර දෙකේදී ඔවුන් පෙන්නුම් කළ දක්ෂතා අනුව තුන්වැනි අදියරේදී ඔවුන් තවදුරටත් ඇගයීමට ලක්වන අතර එහිදී ඉහළම ලකුණු ලබාගන්නා තරඟකරුවන් වෙනවෙනම සම්මුඛ සාකච්ඡාවලට ලක් කිරීමට නියමිත ය.

මෙම ඇගයීම් වට වලින් අනතුරුව අංශ 9 ක් යටතේ පළමු, දෙවන හා තුන්වන ස්ථාන සඳහා ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් තෝරාගැනෙනු ඇත. 'Concierge / Bell Hop, Receptionist, Public Area Attendant, Room Attendant, Steward / Waiter, Kitchen Steward, Bartender, Pool Attendant / Life Guard සහ Telephone Operator යන අංශ 9 යටතේ මෙසේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් තෝරාගැනේ. ප්‍රථම හා දෙවන වට වලින් සුදුසුකම් ලබන තරගකරුවන්ට උපරිමය 35% කට යටත්ව ලකුණු හිමිවන අතර අවසන් වටය සඳහා තරගකරුවන් 45 දෙනෙකු තෝරා ගැනෙනු ඇත.

පළමු සහ දෙවන වට වලින් පසුව අවසන් වටයට සුදුසුකම් ලබන තරගකරුවන් 45 දෙනා අතරින් වඩාත් ජනප්‍රියම තරඟකරු හෝ තරඟකාරිය තෝරා 'Most Popular Finalist' ලෙස සම්මානයක් ලබාදීමටද සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබේ. මෙහිදී ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහිකාව SMS ඡන්ද විමසීමක් මගින් තෝරා ගැනෙනු ඇත.

ශ්‍රී ලංකා හෝටල් සංගමය

ශ්‍රී ලංකා හෝටල් සංගමය යනු ශ්‍රී ලංකාවේ සමස්ත හෝටල් ක්ෂේත්‍රය ආවරණය කරන ප්‍රධානතම සංවිධානය වේ. මේ වනවිට දිවයින පුරා විසිරුණු හෝටල් හා තානායම් 200 කට අධික සංඛ්‍යාවක් එම සංවිධානයේ සාමාජිකත්වය ලබාගෙන ඇත. මෙම හෝටල් අතරට කොළඹ පිහිටි තරු පහේ හෝටල් වල සිට වෙනත් තරු හෝටල් සහ Boutique වර්ගයේ හෝටල් දක්වා ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර හෝටල් සන්නාම, ප්‍රධාන පෙළේ හෝටල් සමූහ, ස්වාධීන හෝටල් හා තනි පුද්ගල ව්‍යාපාර ලෙස පවතින හෝටල් ඇතුළු හෝටල් රාශියක් ඇතුළත් වී තිබේ.

මාධ්‍ය සාකච්ඡාවේ ප්‍රධාන සාමාජික පිරිස වමේ සිට දකුණට අමල් ගුණතිලක මහතා - සාමාජික - ශ්‍රී ලංකා හෝටල් සංගමය, අබ්බාස් ඉසුෆාලි මහතා - සමාජික - ශ්‍රී ලංකා හෝටල් සංගමය, ශාන්ති කුමාර් මහතා, උප සභාපති - ශ්‍රී ලංකා හෝටල් සංගමය, සනත් උක්වත්ත මහතා - සභාපති - ශ්‍රී ලංකා හෝටල් සංගමය, සුනිල් දිසානායක මහතා - තාක්ෂණික කමිටු සාමාජික, අසෝක හෙට්ටිගොඩ මහතා - සාමාජික - ශ්‍රී ලංකා හෝටල් සංගමය, ඇන්ජලින් ඔන්ඩාට්ජි මහත්මිය - උප සභාපති - ශ්‍රී ලංකා හෝටල් සංගමය,

ශ්‍රී ලංකා හෝටල් සංගමයේ සභාපති ප්‍රමුඛ සාමාජිකයින් විසින් නිර්මාණාත්මක ලෙස නිමවන ලද පොල් තෙල් පහන දල්වන අවස්ථාව. Rising Star – 2017 තරඟයේදී සම්මානයට ලක් වූ නිර්ණායක 9 නියෝජනය වන ආකාරයට මෙම පොල් තෙල් පහන නිර්මාණය කර ඇත.

මාධ්‍ය සාකච්ඡාවේදී සභාපති සනත් උක්වත්ත මහතා විසින් ශ්‍රී ලංකා හෝටල් සංගමයේ නව වෙබ් අඩවිය විවෘත කරන අවස්ථාව